අමතරව හදවතක් ඇත.

හැමවිටම මට
අමතර හදවතක් ඇත
එකක් ඔබ වෙනුවෙන්‍ ය
අනෙක මා වෙනුවෙන් ය
භාවිතය පමණක් ම වෙනස් ය!
නිතර කලබලය
නඩත්තුව බරය
නිතරම දබරය
දෙදෙනාම කරන්නේ කරදරය!
ටොන් ගණන් තර්කද
මල් වගේ වචනද
පෙරළා දෙදෙනාට පහර දෙන
කාලතුවක්කු දෙකකි
අවසානයේ දිනුම
නුඹ පමණක්ම ලබන!

2018/11/09

Advertisements

මලක් උනේ ඇයි නුඹ මට°

මල් වගෙද නුඹ මෙමට

මල් සුවඳ මෙන් නොවෙද

නිතර දෙවෙලේ අසල

රැඳෙන නොරැඳෙන ප්‍රේමියේ….

හිත කොහිද නුඹ කොහිද

එකම තැන මම නැතිව

නුඹ නැතුව මේ සමය

හිස් තැනක් ප්‍රේමියේ…..

සඳ නොවෙද තරු කැටද

රැයට තනි මකන වෙන

නුඹ රැඳෙයි සිතුවමින්

මා හදේ ප්‍රේමියේ….

කුළුණුක් තරම් උස ප්‍රේමය°

උස් කුලුණු මත හිඳ

දකින්නට ඇතිනම්

මේ නගරයම මට

ඔබේ දෑසින් මැවෙන

ප්‍රේමය,

මේ තරම් යැයි

පවසමි…

මුදා හල කිරිල්ලක

නිදහසේ ඉගිලෙන

හැඟුමක මිහිරි බව

මේ තරම් යැයි කියමි

ඒ තරම් අසීමිත

නුඹේ ප්‍රේමය මට….

ඉතින් පෙම්වත

ප්‍රේමයේ තටු නොසිඳ

මේ භවේ නොලැබෙන

ප්‍රේමයේ හැඟුම් වල

හිස්තැනක් ඉතිරිව

නුඹ මම නිහඬව

උස් කුළුණු මත!

බස් ආදරේ

අපි ඉස්සරෝම හම්බුනේ ඒ නයින් පාරෙ. මට දවස නම් මතක නෑ. එයා මට ඇහැක් ගැහුවා. මගෙ එයාට හිත ඇදීලා ගියා. මට එයා නොදැකම බැරි උනා. මං ලොකු ලමයෙක් වෙච්ච අලුතම මට එයා ගැන ආදරයක් දැනුනා. දවස් තුන හතරක්ම අපි පාරෙදි හම්බවුනා.

අපි හිනා උනා.
යන්නම් කිව්වා.
ආයෙ හම්බවෙමු කිව්වා.
ටටා කිව්වා.
ෆ්ලයින් කිස් දුන්නා.

ඊට පස්සෙ සතියක් යනකල්ම මට එයා හම්බුනෙම නෑ. මං ලෙඩ උනා හුඟක් නරක විදිහට ලෙඩ උනා. මං ගමන් බිමන් යන්න කැමති උනෙම නෑ. මං නිතරම ලෙඩ උනා. මගේ තාත්තා මාව සතියක්ම ඉස්පිරිතාලෙ නතර කරා. හාර්ට් එකට විසබීජයක් ගිහින් කියල මගෙ ඇඟේ ලේ මාරු කරා. ඊට පස්සෙ මට හොඳ උනා. ආයෙම පුරුදු පාරෙ එහා මෙහා යන්න උනා. ඒත් එයා හිටියෙ නෑ!

දවසක් මට එයාගෙ යාලුවෙක් මුණ ගැහුනා.
” ඔයාගෙ යාලුවා , එයා දැන් වෙන පාරක යන්නෙ. ඔයා ගැන එයාලගෙ ගෙදර අයට ආරන්චිය වෙලා පාර මාරු කරල ”

මට හුඟක් දුක හිතුනා. පොඩ්ඩක් නෙමේ හුඟක්. මගේ බඩේ හුලං බැහැල යනවා වගේ දැනුනා. කොච්චර නරක හැඟීමක්ද කියනවා නම් මං කලන්තෙ දාලා වැටුනා. මං ආයෙමත් ලෙඩ උනා. දොස්තරලා කිව්වෙ මාව බේරගන්න බැරි වේවි කියල!

ඒත් දවසක් එයාලගෙ ගෙදර අය අපේ ගෙදර ආවා. අපේ කසාදෙ ගැන කතා කරන්න නම් නෙමේ. මං නොදන්නවා උනාට අපෙ පවුලයි ඒ පවුලයි හොඳ යාලුවෝ!
අපේ සම්බන්ධය ගැන ගෙදර අයට කියන්න මට හිත දුන්නෙ නෑ. ඉතින් අපේ මඟුලක් ගැන එයාල කවදාවත් කතා උනේ නෑ.
එයාගෙ නිල් පාට ඇස් දෙකයි, ලා කහ පාට ඇඟයි කට හඬේ ලස්සනයි මට හැමදාම රෑ හීනෙන් පෙනුනා. මගේ රතු පාට ඇඟ එයාගෙ ලඟින් තිබුනම කොච්චර ගැලපෙනවද කියල මම හීන මැව්වා.

මං හැමදාම පුරුදු පාරෙ ගියා. ඒත් එයා මට හම්බවුනේ නෑ. මට වෙන කොල්ලෙක් ගැන හිතන්න හිතක් තිබුනෙත් නෑ.

අඩු ගානෙ අපි පෙට්‍රල් ශෙඩ් එකකවත් හම්බවෙනවා නම්!

අපි කොහෙන්වත් ආයෙ හම්බවුනෙම නෑ.

වෙනදා වගේ ඔහේ යනකොට පාර බ්ලොක් වෙච්ච දවසක් එදා. ස්ට්‍රයික් එකක්!
අපි එදා හම්බුනා. එයා යන පාර වහල.
එයාගෙ පාර ගැන මට කිව්වා.

“මාතලේ හංදියෙන් දකුණට දාලා වමට හැරෙන පාරෙන් මං යන්නෙ. ඔයා දකින්නෙ නැතුව මට පාලුයි කෙල්ලේ. මගේ යාලුවොන්ගෙන් මං නිතරම ඔයා ගැන අහනවා. දුකින් ඉන්න එපා ඉතින්”

එච්චරමයි කියන්න ලැබුනෙ. ස්ට්‍රයික් එක ඉවර වෙලා අපිට ආයෙම යන්න සිද්ද උනා.

පහුවදා මම කාගෙත් කීම නාහා මගේ තනි කැමත්තට එයා යන පාරෙන් ගියා.
අන්න එයා ඈතින් එනවා!!!
අපි වේගෙන් කකුල් ඉක්මන් කරල වැලඳගන්න ඉස්සරහට ගියා.

දැන් අපි දෙන්නම එකම ඉස්පිරිතාලෙ එක ලඟ ඇඳන් වල. මාස ගානක් යනකල් ගොඩ ඒමක් නෑ කියල ඩොක්ටර්ස්ලා කියන්නෙ. ඒකට මොකද! අපිව දැන් වෙන් කරන්න කාටවත්ම බෑ. මං එයාව හයියෙන් බදාගත්තා!

* පසු තොරතුරු – මාතලේ හන්දියේ දකුණු මාර්ගයේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී ඇති අතර 150කට ආසන්න පිරිසකට තුවාල සිදු වී ඇත. බස් රථ දෙක ගැටීමට හේතුව තවමත් සොයාගෙන නැත. *

The Diary!

“මට ප්‍රශ්න තිබුනෙ හරි අඩුවෙන්. මට යාලුවොන්ගෙ ප්‍රශ්න කියල ජාතියක්වත්, ගෙදර ප්‍රශ්න කියල ජාතියක්වත්, ආදර ප්‍රශ්න කියල ජාතියක්වත් ඔය මොන ජාතියක්වත් කියන ප්‍රශ්න මට තිබුනෙ නෑ. ඇත්තෙත් නෑ. තියනවද දන්නෙත් නෑ. මං තැකීමක් කරන්නෙ නෑ. මට හැමදාම තිබුනෙ තියන්නෙ මං ගැන ප්‍රශ්න ජාතියක්.
ඔව්! එකක් නෙමේ ප්‍රශ්න ජාතියක්. ඒ කියන්නෙ ගොඩක්. ජාතියක් කියන්නෙ මොකක්ද?
ජාතියක් යනු මිනිස් සමූහයක්. කොයි ජාතියේත් පදනම පැවැත්මය. පොදුවේ අනිකුත් සතුන් මෙන්ම මිනිසුන්ද සමූහගත වන්නේ සිය පැවැත්ම උදෙසාය.
ප්‍රශ්න ජාතියක් කියන්නෙ මං මගේ පැවැත්ම වෙනුවෙන් හදාගත්ත තුරුම්පු ටිකක්ද!
කාලෙට කලින් ලියාපු ඩයරි පිටුවක් පෙරල කියවල ආයෙම පෙරලල කියවනවද නැද්ද හිතල ආයෙම ඒ පිටුව වහල මං ඇඳට ආවා.
ඇඳේ පැත්තකින් ඇලේකට හැරිල නිදාගෙන ඉන්නෙ අවුරුදු ගානකට කලින් මගේ කියල තිබ්බ ප්‍රශ්න ජාතිවලින් එකක් නේද කියල මිලි තප්පර ගානකින් මොළයට දැනුනා. මොළයෙන් ඒ මිලි තප්පර ගානකටත් අඩුවෙන් යවපු පණිවිඩයකින් මට හිනාවක් ආවා.

මං දැන් ඩයරි ලියන්නෙ නෑ.

ඇයි ඒ ඉතින්.

මං ආසාවෙන් ලියපු ඩයරි කවුරු බලනවා කියල අසික්කිත සැකයක් ඇති වෙච්ච දා ඉඳන්.

සැකයක් විතරයිනෙ.

නෑ මගේ වටේ ඉන්න අය ඒ ඩයරි ඇතුලෙ තියන වචන වලින් මාව මනින්න ගන්නවා වගේ දැනෙන්න ගත්ත.

ඒක ඩයරි ඇතුලෙන් ආපූ , ඔයා හිතෙන් මවාගත්ත දෙයක් වෙන්නැති.
දන්නෙ නෑ.

එතකොට මේ ඩයරි විසිකරේ නැත්තෙ.

ලෝබකමකට!

අනික් පැත්ත හැරිල මගේ අර ප්‍රශ්න ජාති වලින් එකක් වෙච්ච එයාගෙ ඔලුව අතගාන්න තරම් ආදරක් ආවා. ඔලුව අතනොගා කොහෙන් ආපු දෙයක් ද කියල ඒ කියල මං ආයෙම කල්පනා කරා. මොළෙයි හදවතයි කියල දෙකක් තියනවද!
කාලෙකට ඉස්සර මගේ පරණ පෙම්වතෙක් කිව්වා ” ඔයා ඔය මොළෙන් ආදරේ කරන එක නවත්තල හදවතෙන් ආදරේ කරන කාලෙකට මට කතා කරන්න ” කියල.

අනේ පුදුමෙකට මං තාමත් එයාට කතා කරේ නෑ.

මල විකාර!

දැන් කසාදයක් කරන් අවුරුදු කීයක්ද.

මට මතක් වෙන්නෙ නෑ කසාද බැඳල කරෙත් එකම දේ කසාද බඳින්න කලින් කරෙත් එකම දේ. තාමත් කරන්නෙ ඒක.

ඉතින් උඹෙ මිනිහා කියල නෑනෙ උඹ ඌට ආදරේ කරන්නෙ මොළෙන් ද හදවතෙන්ද මොන ඉලව්වෙන්ද කියල.

අන්න ඒකත් මගෙ ප්‍රශ්න ජාතියක්.

ඇයි උඹ අහන්නෙ නැත්තෙ!

මේ මොන විකාරයක්ද. පට්ට බැල්ලි මගෙන් අහන ප්‍රශ්න. උඹට වැඩක් නැත්තං නිදාගනින්!

මට හදවතක් කියල එකක් තියනවා. උඩු හිත යටි හිත කියල එකකුත් තියනවා. ඒවා තියන්නෙ ඇස් දෙකේ. මං ඒක හොයාගත්තෙ අම්මගෙන්. මං කෙල්ල කාලෙ නිදාගත්තම හිතනවා මගේ ප්‍රශ්න ජාති ගැන. ඒවා හුඟක් ඒවා ලස්සනයි. සමහර ප්‍රශ්න වල මම ඉන්නෙ මගේ ප්‍රශ්න ජාති වලින් එකක් වෙච්ච එයා එක්ක ඇඳක් උඩ හෙළු වැල්ලෙන්. ඊට පස්සෙ මට එහා කාමරේ ඉන්න අම්මා මතක් වෙනවා. එයා මොනවද ඇස් වහන් හිතනවා ඇත්තෙ. හෙට මොනවද උයන්නෙ. මගෙ මිනිහා අද ඇඳට ආවෙ නැත්තෙ ඇයි. ඔෆිස් එකට ගියාම බොස්ගෙ මල ඉලව් වැඩ. ඉවරයක් නැති ලමයිගෙ ප්‍රශ්න. ඊට පස්සෙ මට මතක් වෙන්නෙ අල්ලපු ගෙදර අන්ධ නිසංසලාව. එයා හීන දකින්නෙ නැද්ද! එයා හීන දකින්නෙ කටහඬ මවාගෙනලු. සිනිදු ස්පර්ශ වලින්ලු. ඕක මං දවසක් අහල මට හිනා යන්න ගිහින් නතර කර ගත්තෙත් අමාරුවෙන්. ඔය ගෑනි දන්න සිනිදු ස්පර්ශ!

මං තේරුම් ගත්තා ඔය මොන හදවතක් උනත් තියන්නෙ ඇස් දෙකේ කියල. මං ඇස් ඇරගෙන ඉද්දි මගේ උඩු හිත වැඩ කරද්දි මං ඇස් වහගෙන ඉද්දි යටි හිත වැඩ කරා.

මං ඇස් වහගෙන ඉද්දි යටි හිත මං එක්ක කතා කරා. ප්‍රශ්න ඇහුවා. මං හීන දැක්කා. සරළයි.

ඔය යටි හිත වෙලාවකට පට්ට පඳුරු වේසියක්. දන්නෙ ලෝකෙ නැති තර්ක ගේන්නයි ඒවා මොළේ එක්ක පටලගෙන මොළේ පරද්දන්නයි. නිකාං බොරුවට ලේ පුච්චන්නෙ නැතුව ලස්සන හීනයක් ෆිල්ම් එකක් වගේ පෙන්නල ඇඟ කූල් කරන්න පුළුවන්කම තියෙද්දිත් ඕකි කරන්නෙම දහදුරා වැඩ!

මං හැමදාම මගේ ප්‍රශ්න ජාති එක එක අරන් කිරල මැනල බලනවා. ඒවා දිග කොට මහත කෙට්ටු විදියට වෙන් කරනවා. එයාට කිව්වම නම් කියන්නෙ ප්‍රශ්න විසඳන්නෙ කාලය ය. දෙයියො කාලය මවල තියන්නෙ ඒකටය.

මොන තරම් කුපාඩි කතාවක් ද ඒක!

මිනිස්සු තමයි දෙයියෝ මැව්වෙ. ඒ මවපු දෙයියොන්ට මිනිස්සු දැන් යට වෙලා. ඔය දෙයියෝ කියල ජාතියක් ඉන්නවා නම් මං කියන්නෙ බඩ දරු අම්මලා විඳින වේදනාව නැති කරන්න කියල. දොයියොන්ට කරන්න පුළුවන් ඉලව්වක් නෑ. ඒක උනත් කරන්නෙ මිනිස්සුනෙ.

මගේ පරණ ඩයරි දැකල මගේ ප්‍රශ්න ජාති වලින් එකක් වෙච්ච එයා කිව්වෙ ආයෙ ඒවා ලියන්න කියල. එයා මගෙ ඩයරි කියවනවට මං කැමති උනා. මං එයා එක්ක දුමක් දානවට එයා කැමති උනා. මං දුමක් දානවා කියන වචනෙට ආස උනා. අපි නොගැලපෙන ඒවා බෙදා ගත්තා. සරළයි. අපිට ඒවා නිකන්ම පොදු උනා. එයා කිව්ව එයාගෙ ජීවිතේ දේවල් මගේ ඩයරියේ ලියන්න කියල.
ඩයරි කියන්නෙ පෞද්ගලික දෙයක් නම් කොහොමද වෙන කෙනෙකුගේ දේවල් ලියන්නෙ!

ඉතින් උඹ ලියපන්.

උඹ පාහර එකී. ඌ මගෙ මිනිහා උනත් මං කොහොමද එහෙම කරන්නෙ. ඒවා පෞද්ගලික නම්.

උගෙ කැමැත්තෙන් කරනවා නම් ඇයි බැරි.

මට බෑ.

තව පාරක් කල්පනා කරල බලන්න.

හොඳයි මං ලියන්නම්. ඒත් කාට බලන්නද.
අනුන්ගෙ ඩයරි බලන්න ආසා තවත් එකෙක්ටද.

නෑ. උඹට මඟ ඇරිච්ච උඹ කැමති ආස කරපු දේවල් වෙනුවෙන්.

මං අලුත් ඩයරියක් ලියන්නම්!

පළවෙනි වතාවට මං ඇස් පියාගෙන මගේ යටි හිත කියපු දේකට එකඟ උනා!

2018.07.14 #කෙටිකතා

භද්‍ර.

භද්‍ර!
නුඹ කියුබානු හදවතක් සහිත
පිටතින් පමණක්ම
ඇමරිකන් මුහුණක් සතුව
මගේ හද ගැසම වැඩි කල,
කපාටවල රිද්ම දැනෙන්නට
ලේ පොම්ප කරන්න තරම්
හදවතට
නුඹේ එක ස්පර්ශයක් වුවත් මට සෑහෙන,
බ්ලොග් පිටු ගනන් කවි ගීත වෑහෙන්න
නුඹේ දෑස් මායා යෂ්ටියක් වැන්න
මා අසලට එද්දී
හංසයෙකුගේ වෙස් ගෙන පලා යන
භද්‍ර!